2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතට අනුව ආපදා කළමනාකරණ ජාතික සැලස්ම සකස් කළ යුතු අතර 2023-2030 කාලසීමාව පදනම් කරගනිමින් ගෝලීය ආපදා අවදානම් අවමකිරීම සදහා වන සෙන්දායි රාමුව, දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය සහ තිරසාර සංවර්ධන ඉලක්ක යන ජාත්‍යන්තර න්‍යාය පත්‍රවල ප්‍රධාන මූලධර්ම අනුගමනය කරමින් තිරසාර සංවර්ධනය සහ අවදානම් කළමනාකරණ ඉලක්ක ලඟාකර ගැනීම අරමුණු කරගනිමින් ජාතික ආපදා කළමනාකරණ සෑලැස්ම සකස් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. සකස් කරන ලද ජාතික ආපදා කළමනාකරණ සැලැස්මෙහි කෙටුම්පත පිළිබඳව දැනුවත් කිරීමේ පාර්ශවකාර ආයතනවල අදහස් විමසීමේ වැසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා ඒක්සත් ජනපද නියෝජිතායතනයේ(USAID)ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වැඩසටහන් නිලධාරි ඩස්ටින් ෂියාවු, ලෝක ආහාර වැඩසටහනෙහි(WFP)නේවාසික අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්ධික් සහ ජනාධිපති ලේකම්කාර්යාලීය උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි යන මහත්මයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටල් පරිශ්‍රයේ දී අද (07) දින පැවැත් විය.
පවතින ආපදා අවදානම් අවම කිරීම සහ නව ආපදා අවදානම නිර්මාණයවීම වැළැක්වීම සදහා ආපදා අවදානම් අවමකිරීම සදහා වන සෙන්දායි රාමුව තුළ පෙන්වාදී ඇති ගෝලීය ප්‍රමුඛතා පදනම් කරගනිමින් සකස් කර ඇති ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම තුළින් විවිධ අවදින්හිදී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ පැවරී ඇති නිශ්චිත වගකීම් පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සඳහා මඟ පෙන්වීම සපයන අතර දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුණ පෑමට සිදුවන ප්‍රතිවිපාක කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. මෙම තත්වයන් කළමනාකරණ කර ගැනීම සඳහා ආපදා හානි අවම කිරීම, පෙර සූදානම, හදිසි මෙහෙයුම් සහ පශ්චාත් ආපදා ක්‍රියාකාරකම් වැනි ප්‍රධාන අදියරවල අරමුණුගත සියලුම ක්‍රියාකාරකම් සඳහා පාර්ශවකාර ආයතනවලට ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම තුළින් මගපෙන්වනු ලබයි.
ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීමේ දී ජාතික සහ පළාත් රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන යන ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ සියළු පාර්ශවකාර ආයතන ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීම සඳහා දායකත්වය දක්වන ලදී.