ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023-2030, පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම සහ ජාතික ආපදා කළමනාකරණ සෑලැස්ම මගින් හදුනාගෙන ඇති ඉලක්ක ලගා කර ගැනීම සඳහා කටයුතු කිරීම සම්බන්ධව පාර්ශවකාර ආයතන අදහස් විමසීමේ වැසටහනක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානයේ වැඩබලන නේවාසික නියෝජිත, අනිටා හර්ෂ් මහත්මිය (Ms. Anita Hirsch) සහභාගීත්වයෙන් පසුගිය 16 වන දින කෝර්ට් යාඩ් මැරියට් (Courtyard by Marriott) හෝටලයේ දී පැවැත් විනි.
ගෝලීය දේශුණික විපර්ශය සහ ආපදා සිදුවීම පිළිබද පරිවර්තනීය ස්වභාවය අවධාරණය කරමින් “වඩ වඩාත් අවිනිශ්චිත ලෝකයක පැවැත්ම සහ සමෘද්ධිය සඳහා සැලැස්මක්” ලෙස ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හදුන්වා දුන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පෙන්වා දුන් අතර මෙම සැලැස්ම මගින් හදුනගෙන ඇති ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. “අපට ආපදා අපගේ සංවර්ධන සිහින කඩාකප්පල් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, පැමිණෙන අභියෝග අවස්ථා බවට පරිවර්තනය කරන ගත හැකි ප්‍රත්‍යස්ථ ප්‍රජාවක් ගොඩනැගීම අපගේ වගකීම බවත් ” ලේකම්වරයා තවදුරටත් අවධාරණය කරන ලදී.
2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ විධිවිධාන පරිදි ආපදා කළමනාකරණ ජාතික සැලස්ම සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ආපදා කළමනාකරණ මධයස්ථානයේ ප්‍රමුඛ වගකීමක් වේ. ඒ අනුව ගෝලීය ආපදා අවදානම් අවමකිරීම සදහා වන සෙන්දායි රාමුව, දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය සහ තිරසාර සංවර්ධන ඉලක්ක යන ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මෙරට තිරසාර සංවර්ධනය සහ අවදානම් කළමනාකරණ ඉලක්ක ලඟාකර ගැනීම අරමුණු කරගනිමින් 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සෑලැස්ම සකස් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලද බව මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පෙන්වා දෙන ලදී.
පවතින ආපදා අවදානම් අවම කිරීම සහ නව ආපදා අවදානම නිර්මාණයවීම වැළැක්වීම සදහා ආපදා අවදානම් අවමකිරීම සදහා වන සෙන්දායි රාමුව තුළ පෙන්වාදී ඇති ගෝලීය ප්‍රමුඛතා පදනම් කරගනිමින් සකස් කර ඇති ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම තුළින් විවිධ අවදින්හිදී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ පැවරී ඇති නිශ්චිත වගකීම් පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සඳහා මඟ පෙන්වීම සපයන අතර දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුණ පෑමට සිදුවන ප්‍රතිවිපාක කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. මෙම තත්වයන් කළමනාකරණ කර ගැනීම සඳහා ආපදා හානි අවම කිරීම, පෙර සූදානම, හදිසි මෙහෙයුම් සහ පශ්චාත් ආපදා ක්‍රියාකාරකම් වැනි ප්‍රධාන අදියරවල අරමුණුගත සියලුම ක්‍රියාකාරකම් සඳහා පාර්ශවකාර ආයතනවලට ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම තුළින් මග පෙන්වනු ලබන බව තවදුරටත් පෙන්වා දෙන ලදී.
ආපදා ප්‍රත්‍යස්ථ ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම මගින් හදුනාගෙන ඇති උපාය මාර්ග සහ නිශ්චිත කාල රාමුවක් අනුව මෙම උපායමාර්ග ක්‍රියාත්මක කිරීම අධීක්ෂණ සහ ඇගයීම් පිළිබඳ කණ්ඩායම් සාකච්ඡා සහ ක්‍රියාකාරී සැලසුම් සැසි මගින් පාර්ශව කාර ආයතන දැනුවත් කිරීම මෙම වැඩසටහනට ඇතුළත් විය.අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන පාර්ශව ආයතන නියෝජිතයින් මෙම එක් දින දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී විය.