අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ව්‍යසනවලට හේතු වී ඇති බවත් ආයතන මට්ටමෙන් නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කර නැති බවත් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින (11/25) පෙන්වා දෙන ලදී. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයසේකර මහතා වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගීවූ ආපදා කළමනාකරණ අංශ නිළධාරීන් අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පලකරන ලදී.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ආයතන ව්‍යුහයන් ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. එසේම පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදී.
ආපදා කළමනාකරණ නීති පද්ධතිය සකස් කර තිබෙන්නේ යම්කිසි අධ්‍යනයකින් පසුව බවත් එම නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමක් බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා එසේ ක්‍රියා කරන ඕනෑම නිලධාරියෙක් වෙනුවෙන් තමා පෙනී සිටින බවද අවධාරණය කළේය.
ව්‍යසන කළමනාකරණය සඳහා රජය දරන වියදම ඉතා විශාල බවද නීති නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින් එම මුදල් අවම කර ගැනීමට හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය එසේම ආපදා කළමණාකරණයට අදාළ නෛතික රාමුව ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වයිස් එයාර් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න , ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත්, කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.