tsunami 01දෙසැම්බර් 26 දින පෙරවරු. 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහජනතාව සිහිපත් කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් රකින්න.

2004 දෙසැම්බර් 26 වන උදුවප් පුර පසලොස්වක පොහොය දින ඇති වූ සුනාමි ව්‍යසනයෙන් අප දිවයිනේ 35,000 කට අධික ජනතාවක් මියගිය අතර තවත් 5,000 පමණ පිරිසක් අතුරුදන් විය. ඇතිවු දේපළ විනාශය මෙන්ම ජනතාවට ඇතිවු ශාරීරික සහ මානසික පීඩාවන් අදටත් එම පවුල්වල අය අත්විදිමින් සිටී.

මේ තත්වය මත සුනාමි ව්‍යසනය සිදුවූ දින සිට සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සැමරුම් උත්සවයක් ලෙස සිහිගන්වන අතර 2012 වසරේ සිට මෙම දිනය ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් නම් කරන ලදී. මේ වසරේ දී ද සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජාතික සුරක්ෂිත දිනය දීප ව්‍යාප්තව දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබේ.

මෙවර ද ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී පැවත්වීමට නියමිතය. එසේම සෑම දිස්ත්‍රික්කයකම ආගමික වතාවත්වලට මුල්තැන් දෙමින් ජාතික සුරත්ෂිත දින සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම වසරේ දෙසැම්බර් 26 වන දිනට උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය යෙදී ඇති අතර එදින දිවයින පුරා පෙරවරු 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහජනතාව සිහිපත් කරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීම කටයුතු කරන මෙන් සහ ආගමික වතාවත් සිදු කොට සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහ ජනතාව සිහිපත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

එසේම මෙවර ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් වශයෙන් ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සියලු දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් ස්ථාපිත ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කර ඇත.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052