syn-sp-earthquake-japa-1556500430

පසුගිය වකවානුව තුළ තුර්කි සිරියානු දේශ සීමාව තුළ සිදු වු භූමිකම්පාව හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම පෙබරවාරි මාසය තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අවස්ථා කීපයක දී ඇති වු සුලු භූචලන හේතුකොට ගෙන අප රට තුළ ද භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත. මෙම පසුබිම තුළ ගෝලීය මෙන්ම දේශීය විද්‍යාඥයින්, පර්යේෂකයින් මෙන්ම ජ්‍යෙතීර්වේදීන් ද භූමිකම්පා පිළිබදව විවිධ මත පළ කරන බව නිරීක්ෂණය වේ.

භූවිද්‍යාව පිළිබදව විශේෂඥ දැනුමක් සහිත තාක්ෂණ ආයතනය වන භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමසුමේ දී ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව සංඥාවක් නොමැතිව භූමිකම්පාවක් සිදුවි විය හැකි බවත් ඒ සදහා පුරෝකථන ඉදිරිපත් කිරීම අසීරු බවත් එබැවින් ජ්‍යෙතිශය වශයෙන් සිදු කරනු ලබන කරුනු දැක්වීම් සදහා කිසිදු විද්‍යාත්මක හෝ තාක්ෂණික පදනමක් නොමැති බවත් දන්වා ඇත.

භූමිකම්පා හේතුවෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සදහා විද්‍යාත්මක ක්‍රමවේද මත පදනම්ව භූමිකම්පා නිරීක්ෂණය කිරීම ගෝලීය වශයෙන් සිදු කරනු ලබන අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අප රට අභ්‍යන්තරයේ සහ ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපය තුළ සිදුවන භූමිකම්පා නිරීක්ෂණය කරනු ලබයි. ඒ සදහා පල්ලෙකැලේ, මහකනදරාව, බුද්ධංගල සහ හක්මන යන ස්ථානවල භූකම්පන සංඥා නිරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර එම දත්ත ගෝලීය නිරීක්ෂණ මධ්‍යස්ථාන හා ඒකාබද්ධව විශ්ලේෂණය කොට අවශ්‍ය තොරතරු අදාල ආයතන සහ මහජනතාව වෙත අවශ්‍ය පරිදි ලබාදීමට ක්‍රියා මාර්ග ගෙන ඇත.

එසේම සාගරය ආශ්‍රිතව සිදුවන භූමිකම්පාවක් හේතුවෙන් සුනාමි ආපදාවක් සිදුවිය හැකි බැවින් ඉන්දියානු සාගරයේ සුනාමි අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය ඇතුලු ගෝලීය සහ කලාපීය සහයෝගිතා සමග සම්බන්ධ වී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අප රටට ඇතිවිය හැකි සුනාමි ආපදා අවදාම පිළිබදව නිරීක්ෂණය කරනු ලබයි.

ආපදාවක දී ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැවරී ඇත. එනිසා ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙත පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ලබාදීම සදහා විවිධ ආයතන හා සම්බන්ධව ආපදා පුර්ව අනතරු ඇඟවීමේ ක්‍රමවේද රාශියක් ස්ථාපිත කොට ඇත. මීට සමගාමීව අපාදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආපදා අවදානම් ප්‍රදේශවල මහජනතාව දැනුවත් කිරීම, පුහුණු කිරීම හා පුර්ව සුදානම ඇති කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මඟින් පියවර ගෙන ඇත.

ආපදාවක දී පුර්ව අනතරු ඇඟවීමේ සිට ජීවිත ආරක්ෂා කරගැනීම සදහා කටයුතු කිරීම දක්වා සීමිත කාල පරාසයක් පවතින බැවින් භූ කම්පනයක් හෝ භූ කම්පනයක් නිසා ඇතිවිය හැකි සුනාම් ආපදා තත්වයක දී ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ පිළිබඳ ඔබ තුළ නිසි අවබෝධයක් තිබීමත් ඒ අනුව කටයුතු කිරීමත් වැදගත් වේ. එබැවින් මේ සම්බන්ධව තොරතුරු www.dmc.gov.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකි අතර වැඩිදුර තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 මගින් ලබාගත හැකිය.එසේම යම් ආපදා තත්වයක් පිළිබඳව පැතිර යන තොරතුරක සත්‍යතාව තහවුරු කරගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 මගින් විමසන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052